November 9, 2026

චීනයේ Xizangහි භූකම්පනයෙන් විපතට පත් වූවන් වෙනුවෙන් කඩිනම් සහන සේවා අඛණ්ඩව

චීනයේ Xizang ස්වායත්තයේ Nagqu නගරයේ Baqen කෝරළයේ ඊයේ (22) රාත්‍රියේ රික්ටර් මාපකයේ ඒකක 7.0ක ප්‍රබලත්වයකින් යුත් භූකම්පනයක් සිදුව ඇත. අද (23) පෙරවරු 5:20 වන විට, මෙම භූමිකම්පාව හේතුවෙන් පුද්ගලයින් 16දෙනෙකු මියගොස් තවත් 46දෙනෙකු පමණ තුවාල ලබා ඇත. ඔවුන් අතරින් පුද්ගලයින් 11කට බරපතල තුවාල ලැබූ අතර, 35දෙනෙකු සුළු තුවාල ලබා තිබේ. එමෙන්ම නිවාස 339ක් කඩා වැටී හෝ හානි වී ඇතැයි වාර්තා වේ. සත්ව ගොවිපල 20කට පමණ හානි සිදු විය.

භූමිකම්පාවෙන් පසු, චීන මහජන විමුක්ති හමුදාවේ බටහිර විධානය ආපදා සහන සඳහා හදිසි ප්‍රතිචාර යාන්ත්‍රණය වහාම ක්‍රියාත්මක කළ අතර, ප්‍රමාදයකින් තොරව පළමු අවස්ථාවේදීම ආපදා තත්ත්වය තහවුරු කර ගත්තේය. තවද, තත්ත්වය නිරීක්ෂණය කිරීම සඳහා ගුවන් යානා යොමු කළ අතර, බලපෑමට ලක්වූ ප්‍රදේශ ආසන්නයේ ස්ථානගතව සිටි හමුදා ඒකකවලට අදාළ ප්‍රදේශ වෙත ගොස් ‍අදාළ මෙහෙයුම් කටයුතු ආරම්භ කරන ලෙස උපදෙස් ලබා දුන්නේය.

ආපදාවට ලක් වූ ප්‍රදේශය වෙත මේ වනවිටත් අවශ්‍ය සහන ද්‍රව්‍ය ලබා දෙමින් සිටින බව වාර්තා වේ. එමෙන්ම සියලුම සහන කණ්ඩායම්, සෙවීම් සහ මුදාගැනීම් මෙන්ම තුවාල ලැබූවන්ට ප්‍රතිකාර කිරීම ඇතුළු ආපදා සහන සේවා සිදු කිරීමට සෑම උත්සාහයක්ම දරමින් සිටිති.

About The Author