November 9, 2026

‘පූර්ණ හා දැඩි විනයකින් යුතුව පක්ෂ පාලනය ඉදිරියට ගෙන යාම පිළිබඳ චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ තීරණය’ට අදාළ කරුණු ඉදිරිපත් කෙරේ

චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වැනි මධ්‍යම කාරක සභාවේ පස්වැනි පූර්ණ සැසිය විසින් 2026 වසරේ ඔක්තෝබර් මස 29වැනිදා“පූර්ණ හා දැඩි විනයකින් යුතුව පක්ෂ පාලනය අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට අදාළ ප්‍රධාන කරුණු රැසක් පිළිබඳ චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ තීරණය” සම්මත කරනු ලැබීය.

පූර්ණ හා දැඩි විනයකින් යුතුව පක්ෂ පාලනය අඛණ්ඩව ඉදිරියට ගෙන යාමේ මෙහෙයුමේදී, පක්ෂ චින්තනය ශක්තිමත් කිරීම මූලික කාර්යයක් බව මෙම තීරණය අවධාරණය කරයි. සමස්ත පක්ෂ සාමාජිකයින් සහ නිලධාරීන් පක්ෂයේ ස්වභාවය හා පරමාදර්ශය ආරක්ෂා කරමින් කොමියුනිස්ට්වාදීන් සතු දේශපාලන ලක්ෂණ අඛණ්ඩව පවත්වාගෙන යාම සහතික කිරීම අත්‍යවශ්‍ය වේ.

‘මධ්‍යගත ප්‍රජාතන්ත්‍රවාදය(ප්‍රජාතන්ත්‍රවාදය සහ මධ්‍යගත පාලනවාදය)’ ක්‍රියාත්මක කිරීම පූර්ණ හා දැඩි විනයකින් යුතුව පක්ෂ පාලනය අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට අත්‍යවශ්‍ය ආවේණික කොන්දේසියකි. මධ්‍යගත ප්‍රජාතන්ත්‍රවාදය සතු දේශපාලන, සංවිධානාත්මක, ආයතනික සහ මෙහෙයුම් වාසි වඩාත් ඵලදායී අයුරින් ප්‍රයෝජනයට ගැනීම සඳහා එහි විවිධ යාන්ත්‍රණයන් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරමින් එය වැඩිදියුණු කළ යුතුය.

දේශපාලනිකව ස්ථාවර, ඉහළ නිපුණතාවයකින් යුත්, ආදර්ශමත් වැඩ විලාසයක් හිමි සහ විනය දැඩිව පිළිපදින උසස් තත්ත්වයේ නිලධාරීන් පිරිසක් බිහි කිරීම සඳහා අවශ්‍ය අධ්‍යාපනය ලබා දීම, පුහුණු කිරීම, තෝරා ගැනීම, පත් කිරීම, කළමනාකරණය සහ අධීක්ෂණය කිරීමේදී දැඩි ප්‍රමිතීන් ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය වේ.

පක්ෂයේ ක්‍රියාමාර්ග, මූලධර්ම සහ ප්‍රතිපත්ති මෙන්ම පක්ෂ මධ්‍යම කාරක සභාවේ තීරණ සහ සැලසුම් ඒකාබද්ධව, නිරවද්‍යව සහ කාර්යක්ෂමව ක්‍රියාවට නැංවීම සහතික කිරීම සඳහා, ඉහළ සිට පහළට මනාව ඒකාබද්ධ වූ සහ ක්‍රියාත්මක කිරීමේදී ඉහළ ඵලදායිතාවක් සහිත ශක්තිමත් සංවිධාන පද්ධතියක් ගොඩනැගීම වැදගත්ය. පක්ෂ සාමාජිකයන්ගේ ක්‍රියාකලාපය වැඩිදියුණු කිරීම කෙරෙහි නිරන්තර අවධානය යොමු කරමින්, හැසිරීම් නිවැරදි කිරීම, විනය බලාත්මක කිරීම සහ දූෂණයට එරෙහිව සටන් කිරීම යන ප්‍රයත්නයන් එකිනෙක ඒකාබද්ධ කළ යුතුය.

නිලධාරීන්ට දූෂණයේ නිරත වීමට බියක් දැනෙන, එසේ කිරීමට නොහැකි වන සහ එසේ කිරීමට කිසිදු ආශාවක් නොමැති තත්ත්වයක් සහතික කිරීමේ ඒකාබද්ධ ප්‍රවේශය නොසැලී ඉදිරියට ගෙන යා යුතු අතර, දූෂණයට එරෙහි සටනේ ජයග්‍රහණය ලබා ගැනීම දක්වාම සටන් කළ යුතුය.

ක්‍රම සහ රෙගුලාසි මගින් පක්ෂය පාලනය කිරීමේ මූලධර්මය තහවුරු කිරීමෙහි නියැළී සිටිය යුතුය. නීතියට අනුව රට පාලනය කිරීම සහ රෙගුලාසිවලට අනුව පක්ෂය පාලනය කිරීම අතර ඒකාබද්ධතාවයක් ප්‍රවර්ධනය කිරීමට අවධානය යොමු කළ යුතු බව ද එම තීරණයේ සඳහන් වී තිබේ.

About The Author