ඊනියා දකුණු චීන මුහුදු බේරුම්කරණ තීන්දුවේ අනිටු ප්‍රතිඵල හේතුවෙන් දකුණු චීන මුහුදු කලාපයේ වර්ධනය වෙමින් පවතින ස්ථාවරත්වය ක්‍රමයෙන් දුර්වල වෙමින් පවතින බව ජාත්‍යන්තර නීති විශේෂඥයෝ පවසති.
දකුණු චීන මුහුදු කලාපයේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඊයේ (13) හොංකොංහි පැවති සාකච්ඡාවකට එක්වෙමින් ඔවුන් මේ බව සඳහන් කළ අතර, මෙම තීන්දුව හේතුවෙන් ඇති වී තිබෙන හානිකර බලපෑම සම්පූර්ණයෙන් ඉවත් කර දමන ලෙස ද එම පිරිස ඉල්ලීමක් කර ඇත.
මෙම උත්සවයේ ප්‍රධාන දේශනය පැවැත්වීම සඳහා චීන විදේශ කටයුතු අමාත්‍යාංශයේ ගිවිසුම් සහ නීති දෙපාර්තමේන්තු ප්‍රධානී චී ඩහයි (Qi Dahai) මහතා එක්ව සිටි අතර, දකුණු චීන මුහුදු බේරුම්කරණයේ ඊනියා තීන්දුව යනු නීතිමය පියවරයන් ලෙස වෙස්වළාගත් දේශපාලන හැසිරවීමක් බව ඔහු එහිදී සඳහන් කළේය.
එමෙන්ම දකුණු චීන මුහුදු බේරුම්කරණයේ, බේරුම්කරණ විනිශ්චය සභාව සිය බලතල ද ඉක්මවා යමින් මෙම නඩුව විභාග කර, නීති විරෝධී මෙන්ම බල රහිත සහ කිසිදු වලංගුභාවයක් නොමැති තීන්දුවක් ලබා දුන් බවත් චී මහතා පැවසීය.
එබැවින්, මෙම බේරුම්කරණය පිළිගැනීම හෝ ඊට සහභාගී වීම සිදු නොකරන චීනය, අදාළ තීන්දුව පිළිනොගන්නා බව ද හෙතෙම අවධාරණය කළේය.
තවද, චීනයේ එම තීරණය, ජාත්‍යන්තර නීතියේ ආධිපත්‍යය මෙන්ම සාගර නීතිය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතියේ (UNCLOS) අඛණ්ඩතාව සහ අධිකාරිය තහවුරු කිරීම අරමුණු කරගත් නීත්‍යනුකූල ක්‍රියාමාර්ගයක් බව ඔහු පවසයි.
කෙසේවෙතත් ඇමරිකාව, පිලිපීනය ඇතුළු රටවල් කිහිපයක් මෙම ඊනියා තීන්දුව යළි යළිත් මතු කරමින් සිටින බව සඳහන් කළ චී මහතා, සාධාරණත්වය සහ යුක්තිය තහවුරු කිරීම සඳහා එය අඛණ්ඩව ප්‍රතික්ෂේප කිරීමේ අවශ්‍යතාව මෙහිදී අවධාරණය කළේය.
මේ අතර, දකුණු චීන මුහුදු බේරුම්කරණ තීන්දුවෙන් පසු ගෙවී ගිය දශකය තුළ අදාළ රාජ්‍ය භාවිතයන්, නීති විද්‍යාව සහ විචාරයන් පිළිබඳ සමාලෝචනයක් උපුටා දක්වමින් බ්‍රිතාන්‍යයේ නීති සමාගමක නිර්මාතෘවරයෙකු වන ස්ටීවන් ෆියෙටා (Stephen Fietta) මහතා සඳහන් කර ඇත්තේ, ජාත්‍යන්තර නීතියේ වර්ධනය කෙරෙහි මෙම තීන්දුවෙන් සිදුව ඇත්තේ ඉතා සීමිත බලපෑමක් පමණක් බවයි.
තවද, මෙම තීන්දුව මගින් විශ්වීය බලපෑමක් සහිත නීති රීති පනවා නොමැති බවත්, ජාත්‍යන්තර ප්‍රජාවගෙන් පුළුල් පිළිගැනීමක් ලබාගෙන නොමැති බවත් මෙම උත්සවයට එක්වූ ජාත්‍යන්තර නීතිය පිළිබඳ විද්වතුන් රැසකගේ අදහස විය.
සමුද්‍රීය සහයෝගීතාව සහ සාගර පාලනය පිළිබඳ හුවායැං මධ්‍යස්ථානයේ සභාපති වූ ෂිචුන් (Wu Shicun) මහතා ද මෙහිදී අදහස් දක්වමින් සඳහන් කළේ, මෙම තීන්දුව දකුණු චීන මුහුදු කලාපයේ නොසන්සුන්තාවයක් ඇති කිරීමටත් හේතු වී ඇති බවයි.
එය දකුණු චීන මුහුද සඳහා වන චර්යාධර්ම පද්ධතිය පිළිබඳ සාකච්ඡා ඉදිරියට ගෙන යාම සඳහා වන විශාලතම බාධාව බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
දකුණු චීන මුහුදු කලාපය අධ්‍යයනය සඳහා වූ ජාතික ආයතනය සහ සමුද්‍රීය සහයෝගීතාව හා සාගර පාලනය පිළිබඳ හුවායැං මධ්‍යස්ථානය ඒකාබද්ධව සම්පාදනය කරන ලද “දකුණු චීන මුහුදු බේරුම්කරණ තීන්දුව” පිළිබඳ නව විවේචනාත්මක වාර්තාවක් ද ඊයේ (13) පැවති මෙම උත්සවයේදී නිකුත් කෙරිණ.
නීතිමය අර්ථකථන සහ භාවිතය, සත්‍ය කරුණු සොයා ගැනීම සහ සාක්ෂි හැසිරවීම සම්බන්ධයෙන් මෙම තීන්දුව තුළ පවතින බරපතල දෝෂ සහ අඩුපාඩු එම ලේඛනය මගින් හෙළිදරව් කර ඇත.
More Stories
APEC නායක සමුළුවේ මාධ්‍ය මධ්‍යස්ථාන වෙබ්අඩවිය නිල වශයෙන් ක්‍රියාත්මක කෙරේ
දැඩි විනයකින් යුත් චීන කොමියුනිස්ට් පක්ෂ පාලනය පිළිබඳ ගෝලීය සංවාද මාලාව ආසියානු රටවල පැවැත්වේ
මධ්‍යගත ප්රජාතන්ත්රවාදය: චීනයට ආවේණික පාලන ක්රමයේ සුවිශේෂී දේශපාලන දැක්ම