November 10, 2026

08 වන චීන-ඇමරිකා ආර්ථික හා වෙළඳ සාකච්ඡා තුළින් ප්‍රගතීන් රැසක්

චීන-ඇමරිකා ආර්ථික හා වෙළඳ සාකච්ඡා කණ්ඩායම් ඉකුත් 20 වැනිදා සිට 23 වැනිදා දක්වා ඇමරිකාවේ New York සහ Washington යන නගරවලදී 08 වැනි වටයේ සාකච්ඡා සඳහා එක් විය. එහිදී සාධනීය ප්‍රගතීන් රැසක් අත්කර ගෙන තිබූ අතර, දෙරටේ රාජ්‍ය නායකයින් පසුගිය 24 සහ 25 යන දෙදින තුළ පැවැත්වූ සාකච්ඡාවන්හි ආර්ථික හා වෙළඳ ක්ෂේත්‍රයන් සඳහා ද ඉන් මනා දායකත්වයක් ලැබී ඇත. එහි ප්‍රගතීන් පිළිබඳව චීන වාණිජ අමාත්‍යාංශයේ ඇමරිකානු මහාද්වීපික හා ඕෂනියා මහාද්වීපික කටයුතු පිළිබඳ ප්‍රධානියා මෙලෙස විග්‍රහයක් සිදු කර තිබේ.

චීන-ඇමරිකා කණ්ඩායම් අතර පැවති සාකච්ඡාවලට අනුව, දෙරටේ ආර්ථික හා වෙළඳ සාකච්ඡා යාන්ත්‍රණය යටතේ චීන-ඇමරිකා වෙළඳ කවුන්සිලයක් පිහිටුවීමට දෙපාර්ශ්වය එකඟ වී ඇත. ද්විපාර්ශ්වික වෙළඳාමේ යහපැවැත්ම තහවුරු කිරීම එහි ප්‍රධාන කාර්යයන්ය. එමෙන්ම, එම යාන්ත්‍රණය යටතේ, චීන-ඇමරිකා ආයෝජන කවුන්සිලයක් ස්ථාපිත කිරීමට ද එකඟතාව පළ කර තිබේ. එමගින් දෙරට අතර මනා සන්නිවේදන වේදිකාවක් ගොඩනැංවෙනු ඇත.

මේ අතර, දෙරටේ රාජ්‍ය නායකයින්ගේ එකඟතාවන් අනුගමනය කරමින් අන්‍යෝන්‍ය ගරුත්වයෙන් හා සමානාත්මතාවයෙන් යුතු සාකච්ඡා මත පදනම්ව චීන-ඇමරිකා වෙළඳ කවුන්සිලය යටතේ, ඇ.ඩො. බිලියන 30ක වටිනාකමින් යුත් නිෂ්පාදන සඳහා අන්‍යෝන්‍ය වශයෙන් තීරුබදු අවම කිරී‍ම පිළිබඳව පැවති වට කිහිපයක සාකච්ඡාවලින් අනතුරුව දැනට එකඟතාවන්ට එළඹ ඇත. මේ අනුව, එකිනෙකා වෙතින් ආනයන කෙරෙන ඇ.ඩො. බිලියන 30ක වටිනාකමින් යුත් නිෂ්පාදනයන්හි තීරුබදු සමාන අගයන්ගෙන් අවම කෙරෙනු ඇති අතර, දෙරටේම එම නිෂ්පාදනවලින් 90%ක් සඳහා වඩාත් වාසිදායක ජාතික තත්ත්වයේ (MFN) තීරුබදු අනුපාතය දක්වා අවම කෙරෙනු ඇත.

මීට අමතරව, ගල් අඟුරු වෙළඳාම පුළුල් කිරීම, කෘෂි කාර්ය මණ්ඩලය පිහිටුවීම, අදාළ මූල්‍ය සේවා සැපයීම, කෘත්‍රිම බුද්ධි සංවාදය ගොඩනැංවීම, මීට පෙර පැවති සෑම ආර්ථික හා වෙළඳ සාකච්ඡාවකදී එළඹි එකඟතාවන් අනුගමනය කිරීම ඇතුළු කරුණු සම්බන්ධයෙන් ද මෙවර සාකච්ඡාවේදී එකඟතාව පළ කර ඇති බව දැනුවත් කර තිබේ.

About The Author