November 10, 2026

ඉරාන න්‍යෂ්ටික ගැටලුව විසඳා ගත හැක්කේ දේශපාලන හා රාජ්‍යතාන්ත්‍රික මාර්ගයෙන් බව චීනය අවධාරණය කරයි

ඉරාන න්‍යෂ්ටික ප්‍රශ්නය විසඳා ගැනීම සඳහා වන මූලික විසඳුම දේශපාලන හා රාජ්‍යතාන්ත්‍රික මාර්ගය බව චීනය ප්‍රකාශ කරයි. ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ චීන ස්ථාවර නියෝජිත Li Song මහතා ඊයේ (09) මේ බව ප්‍රකාශ කළේ, ඉරාන න්‍යෂ්ටික ප්‍රශ්නය සම්බන්ධයෙන් එම ඒජන්සියේ අධ්‍යක්ෂ මණ්ඩලයේ පැවති සාකච්ඡාවේදීය.

පසුගිය වසරේ ජුනි මස සිට මේ දක්වා, ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ අධීක්ෂණයට ලක්වූ ඉරානයේ සාමකාමී න්‍යෂ්ටික පහසුකම් කෙරෙහි ඇමරිකාව හා ඊශ්‍රායලය දෙවරක් යුදමය වශයෙන් ප්‍රහාර එල්ල කර තිබෙන බව Li Song මහතා එහිදී පැවසීය. එය ඉරානය හා ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය අතර පවතින සහතික කිරීමේ හා අධීක්ෂණ සහයෝගීතාවට දරුණු බාධාවක් ඇති කළ බවත්, එය න්‍යෂ්ටික අවි නිර්ව්‍යාප්ති සම්මතයට ද දැඩි අභියෝගයක් බවත් හෙතෙම ප්‍රකාශ කළේය. එමෙන්ම ඉරානය සහ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය අතර සහයෝගිතා තවමත් නිසි ආකාරයෙන් පවත්වා ගත නොහැකි වීමට එය මූලික හේතුවක් බව ද හෙතෙම පවසා ඇත.

ඉරාන න්‍යෂ්ටික ප්‍රශ්නය විසඳා ගැනීමේ මූලික ක්‍රමය වන්නේ දේශපාලන හා රාජ්‍යතාන්ත්‍රික මාර්ගය බව ඓතිහාසික පසුබිම මගින් මනා ලෙස පිළිබිඹු වන්නකි. එබැවින් පවතින අර්බුදකාරී තත්ත්වය ලිහිල් කිරීම ප්‍රවර්ධනය කරමින් අදාළ පාර්ශ්වයන් සංවාදයට යළි අවතීර්ණ වීම, වර්තමානයේ‍ හදිසි අවශ්‍යතාවකි. ඒ අනුව දේශපාලන ක්‍රමවේද ඔස්සේ ඉරාන න්‍යෂ්ටික ප්‍රශ්නය විසඳා ගැනීම සඳහා අවශ්‍ය පෙළඹවීම් ඇති කරමින්, මැදපෙරදිග කලාපයේ සාමය හා ස්ථාවරත්වය සඳහා චීනය අඛණ්ඩව උත්සාහ දැරීමට කැමැත්තෙන් සිටින බව, ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ චීන ස්ථාවර නියෝජිතයා එහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.  

About The Author