November 10, 2026

සිය අපරාධ මෙනෙහි කරමින් මිලිටරිවාදය මුලිනුපුටා දමන ලෙස චීනය ජපානයෙන් ඉල්ලයි

ජපානය සිය අපරාධ මෙනෙහි කරමින් මිලිටරිවාදය මුලිනුපුටා දැමීමට පියවර ගත යුතු බව චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක ලින් ජියන් මහතා ප්‍රකාශ කරයි.

යුද ගැටුම්වලින් මියගිය පුද්ගලයින් සඳහා ‍ශෝකය පළකිරීම වෙනුවෙන් පසුගිය 15 වනදා පැවති අවස්ථාවට එක්වෙමින් ජපාන අගමැතිනිය දේශනයක් සිදු කළාය. එහිදී ඇය පළ කළ අදහස් සම්බන්ධයෙන් චීනය දරණ අදහස කුමක්දැයි ඊයේ(17) බෙයිජිංහි පැවති මාධ්‍ය හමුවේදී වාර්තාකරුවෙක් ලින් ජියන් මහතාගෙන් විමසීය.

ජපාන අගමැතිනිය සිය දේශනය තුළ ‘වරද සිහිපත් කිරීම’ හෝ ‘උගත් පාඩම්’ හෝ පිළිබඳව සඳහන් නොකළ අතර, ආක්‍රමණ සම්බන්ධයෙන් සිය රට සතු වගකීම ද පැහැදිලි කර නොමැත. වත්මන් ජපන් රජයේ, රටේ ආක්‍රමණික ඉතිහාසය ආවරණය කිරීමේ සහ එය විකෘති කිරීමේ කුමන්ත්‍රණය ඉන් හෙළි වූ බව ලින් ජියන් මහතා පෙන්වා දෙයි. චීනයට එරෙහි යුද්ධයෙන් පරාජය වීම ප්‍රකාශයට පත් කිරීමේ අනුස්මරණ දිනයේදීම (15), ජපාන අගමැතිනිය ජපන් යුද අපරාධකරුවන්ගේ නාම පුවරු තැන්පත් කර ඇති දේවාලයක් වෙත ගොස් උපහාර දැක්වීමත් අවධානයට ලක්විය යුතු කාරණාවකි.

ජපාන පාර්ශ්වයේ එවන් පියවර ආක්‍රමණික යුද්ධයට සහයෝගය දැක්වීමකි. ජපානයේ දේශපාලනඥයින් සිය රටේ හා ජගත් ප්‍රජාවේ සාධාරණ සාමකාමී අදහස් වෙත සවන් දෙමින් සිය අපරාධ ගැඹුරින් මෙනෙහි කර මිලිටරිවාදය මුළුමනින් තුරන් කළ යුතුය. එමෙන්ම ජපානය වැරදි මාවතක් ඔස්සේ ඉදිරියට ගමන් කිරීමෙන් වැළකී සිටිය යුතු බව ද ලින් ජියන් මහතා එහිදී අවධාරණය කළේය.

About The Author