චීන ජනාධිපති ෂී ජින්පිං මහතා සහ නැමීබියානු ජනාධිපතිනි Netumbo Nandi-Ndaitwah මහත්මිය අතර සාකච්ඡාවක් පැවැත්විණ. ඒ පසුගියදා(10) පස්වරුවේ බෙයිජිංහි මහජන මහා ශාලාවේදීය. දෙරටේ ද්විපාර්ශ්වික සබඳතාව නව යුගයේ පොදු ඉරණමක් සහිත චීන-නැමීබියානු ප්‍රජාවක් බිහිකිරීම දක්වා ඉහළ නැංවීමට නායක දෙපළ එහිදී එකඟතාව පළ කළහ.
නැමීබියාව මේ වන විට සිය ‘2030 දැක්ම’ සාර්ථක කර ගැනීම සඳහා එහි ඉලක්ක කරා ගමන් කරමින් සිටී. චීන කොමියුනිස්ට් පක්ෂය ද සමස්ත ජනවාර්ගික කණ්ඩායම්වල ජනතාව එක්සත් කර මෙහෙයවමින් චීනයට ආවේණික නවීකරණය තුළින් ශක්තිමත් රටක් ගොඩනගා ජාතික පුනර්ජීවනයේ ශ්‍රේෂ්ඨ අරමුණ පුළුල් ලෙස ඉදිරියට ගෙන යන බව ෂී ජින්පිං මහතා එම අවස්ථාවේදී සඳහන් කළේය. රටවල් දෙක අතර මිත්‍රශීලී සහයෝගීතාව ගැඹුරු කිරීම කාලෝචිත වන අතර එමගින් යහපත් අනාගතයක් සඳහා අපේක්ෂා දල්වා ගත හැකි බව ද ඔහු පැවසීය.
නව යුගයේ පොදු ඉරණමක් සහිත චීන-නැමීබියානු ප්‍රජාවක් ගොඩනැගීම සඳහා ෂී ජින්පිං මහතා යෝජනා තුනක් ඉදිරිපත් කළේය.
පළමු යෝජනාව වන්නේ දෙරටේ ඉහළ මට්ටමේ හුවමාරු ශක්තිමත් කළ යුතු බවයි. රාජ්‍ය පාලනය පිළිබඳ අත්දැකීම් හුවමාරුව වර්ධනය කළ යුතු අතර, එකිනෙකාගේ මූලික අවශ්‍යතා සහ ප්‍රධාන වශයෙන් සැලකිල්ලට ගත යුතු කාරණා ආශ්රිත ගැටළුවලදී අන්‍යෝන්‍ය සහයෝගය දැක්වීම අඛණ්ඩව පවත්වා ගත යුතු බව ඉන් අදහස් කෙරේ.
දෙවනුව, දෙරටේ සහයෝගීතාව වැඩි දියුණු කළ යුතු ය. චීනය දැනටමත් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පවත්වන අප්‍රිකානු රටවල් 53ට ම ශුන්‍ය තීරුබදු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කර තිබේ. නැමීබියාවේ උසස් තත්ත්වයේ නිෂ්පාදිත වැඩිවශයෙන් චීන වෙළඳපොළට කඩිනමින් ප්‍රවේශ කරවීම සඳහා, නැමීබියාව ශුන්‍ය තීරුබදු ප්‍රතිපත්තිය සහ අනෙකුත් හිතකර ප්‍රතිපත්ති උපරිමයෙන් භාවිතයට ගනු ඇතැයි චීනය අපේක්ෂා කරයි.
තෙවනුව, දෙරට සහයෝගීතාවය ආරක්ෂා කළ යුතු අතර බහුපාර්ශ්විකත්වය ආරක්ෂා කිරීමට එක්ව කටයුතු කළ යුතු ය.
නැමීබියාව ඇතුළු අප්‍රිකානු රටවල් සමඟ පතල් කැණීම් ආශ්රිත සහයෝගීතාව අඛණ්ඩව ශක්තිමත් කිරීමට චීනය කැමැත්තෙන් පසුවෙයි. එමෙන් ම අන්‍යෝන්‍ය ප්රතිලාභ හා ජයග්‍රාහී සහයෝගීතාව, සුහද උපදේශන මෙන් ම සහයෝගීතා ප්රවේශයන් බිහිකිරීම යන මූලධර්ම තුන කෙරෙහි අවධානය යොමු කළ යුතු බව ද ෂී ජින්පිං ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කර ඇත.
නැමීබියාව, චීනය සමඟ ඇති මිත්‍රත්වයට විශාල වැදගත්කමක් ලබා දෙන අතර, එකම චීනය යන මූලධර්මය ස්ථිර ව අනුගමනය කරන බව Netumbo Nandi-Ndaitwah ජනාධිපතිනිය එහිදී කියා සිටියාය. දෙරට අතර විස්තීර්ණ උපායමාර්ගික සහයෝගීතා හවුල්කාරිත්වයේ නව ප්‍රගතියක් සඳහා, චීනයේ අත්දැකීම්වලින් ඉගෙන ගනිමින් එකමුතුකම සහ අන්‍යෝන්‍ය විශ්වාසය තහවුරු කරමින් සහයෝගීතාව පුළුල් කිරීමට තම රට කැමැත්තෙන් සිටින බව ද ඇය පැවසුවාය. නැමීබියාව චීනය සමඟ වෙළඳාම පුළුල් කිරීමට කැමැත්ත පළ කර ඇති අතර, නැමීබියාවේ ආයෝජනය කිරීමටත් ව්‍යාපාර කිරීමටත් චීන ව්‍යවසායන්ගේ පැමිණීම ද අපේක්ෂා කරයි. එමෙන් ම නැමීබියාවේ ආර්ථික හා සමාජීය සංවර්ධනයට සහාය වීම සඳහා කර්මාන්ත, පතල්, යටිතල පහසුකම්, අභ්‍යවකාශ, විද්‍යාව හා තාක්ෂණය, කෘෂිකර්මාන්තය සහ ජල සම්පත් යන ක්ෂේත්රවල සහයෝගීතාව ශක්තිමත් කිරීමට ද අපේක්ෂා කෙරේ.
චීනය දිගු කලක් පුරා නැමීබියාව ඇතුළු අප්‍රිකානු රටවලට පූර්ණ සහයෝගය අඛණ්ඩ ව ලබා දී ඇති අතර ජාත්‍යන්තර හා කලාපීය කටයුතුවලදී සාධාරණ ස්ථාවරයක් පවත්වා ගෙන ගොස් ඇත. සංවර්ධනය වෙමින් පවතින රටවල පොදු අවශ්‍යතා ආරක්ෂා කිරීම සහ පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාවක් ඒකාබද්ධව ගොඩනැගීම සඳහා චීනය සමඟ සන්නිවේදනය සහ සම්බන්ධීකරණය ශක්තිමත් කිරීමට නැමීබියාව කැමැත්තෙන් සිටින බව ද නැමීබියානු ජනාධිපතිනිය අවධාරණය කළාය.
සාකච්ඡාවලින් පසුව, රාජ්‍ය නායකයින් දෙදෙනා ආර්ථිකය, වෙළඳාම, සෞඛ්‍ය සේවා, අධ්‍යාපනය සහ මානව සම්පත් යන ක්ෂේත්රවල සහයෝගීතා ලේඛන අත්සන් තැබීමේ අවස්ථාවට එක් වූහ. නව යුගයේ පොදු ඉරණමක් සහිත චීන-නැමීබියානු ප්‍රජාවක් ගොඩනැගීම පිළිබඳ චීනය සහ නැමීබියාව අතර ඒකාබද්ධ ප්‍රකාශයක් දෙපාර්ශ්වය නිකුත් කර ඇත.
More Stories
APEC නායක සමුළුවේ මාධ්‍ය මධ්‍යස්ථාන වෙබ්අඩවිය නිල වශයෙන් ක්‍රියාත්මක කෙරේ
දැඩි විනයකින් යුත් චීන කොමියුනිස්ට් පක්ෂ පාලනය පිළිබඳ ගෝලීය සංවාද මාලාව ආසියානු රටවල පැවැත්වේ
මධ්‍යගත ප්රජාතන්ත්රවාදය: චීනයට ආවේණික පාලන ක්රමයේ සුවිශේෂී දේශපාලන දැක්ම