November 10, 2026

චීන ජනපති ශැංහයි සහයෝගීතා සංවිධානයේ සමුළුවට එක්වීමට සූදානම්

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා, කිර්ගිස්ථානයේ Bishkek නුවරදී පැවැත්වීමට නියමිත 2026 ශැංහයි සහයෝගීතා සංවිධානයේ සමුළුව සඳහා එක් වීමට සූදානම් වෙයි. ඉන් අනතුරුව කිර්ගිස්ථානයේ හා ඊජිප්තු‍වේ රාජ්‍ය සංචාරයන්හි ද නිරත වීමට නියමිතය. කිර්ගිස්ථාන ජනාධිපති Sadyr Nurgozhoevich Japarov හා ඊජිප්තුවේ ජනාධිපති Abdul Fatah Al-Sisi යන මහත්වරුන්ගේ ඇරයුමට අනුව ෂී ජින්පිං මහතා එම රාජ්‍ය සංචාරයන්ට එක්වනු ඇත.

එළඹෙන 30 වැනි දා සිට සැප්තැම්බර් 03 වැනි දා දක්වා, හෙතෙම එම සංචාරයන්ට එක් වන බව චීන විදේශ අමාත්‍යාංශය අද(26) ප්‍රකාශ කළේය.

මේ සම්බන්ධයෙන්, එහි ප්‍රකාශක Lin Jian මහතා ඊයේ(26) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී පැවසුවේ පසුගිය වසරේ ෂී ජින්පිං මහතා Sadyr Nurgozhoevich Japarov ජනාධිපතිවරයා අවස්ථා තුනකදී හමු වී ඇති බවයි. මෙවර කිර්ගිස්ථාන සංචාරයේදී නායක දෙපළ යළි සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබේ. කිර්ගිස්ථානය සමග එක්ව, මෙවර සංචාරය අවස්ථාවක් කර ගනිමින් දෙරටෙහි පූර්ණ අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සැලසෙන සහයෝගීතාව ඉහළ මට්ටමකට රැගෙන යාම චීනයේ කැමැත්තක් බව ද ඔහු පැවසීය.

එමෙන්ම, වසර 10කට පසු ෂී ජින්පිං මහතා යළි ඊජිප්තුවේ රාජ්‍ය සංචාරයකට එක් වන අවස්ථාව මෙය බව Lin Jian මහතා කියා සිටියේය. මෙම වසරට යෙදෙන දෙරට රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිහිටුවීමේ 70 වැනි සංවත්සරය නිමිති කරගෙන මෙම සංචාරය ඔස්සේ ඊජිප්තුව සමග එක්ව දෙරටෙහි සබඳතාවේ නව පරිච්ඡේදයක් ගොඩනැගීමට චීනය සූදානම් බව ද චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශකයා එහිදී වැඩිදුරටත් සඳහන් කර තිබේ.

About The Author