April 16, 2026

10 වැනි ලතින් ඇමරිකානු සහ කැරිබියානු රාජ්‍ය ප්‍රජාවේ සමුළුවට චීන ජනපතිගෙන් සුබ පැතුම් පණිවිඩයක් 

කොලොම්බියාවේ ආරම්භ වූ ලතින් ඇමරිකානු සහ කැරිබියානු රාජ්‍ය ප්‍රජාවේ 10වැනි සමුළුවට චීන ජනාධිපති ෂී ජින්පිං මහතා සුබ පැතුම් පණිවිඩයක් යොමු කර ඇත. එම පණිවුඩය ඊයේ(21) යොමු කෙරිණ. 

ලතින් ඇමරිකානු සහ කැරිබියානු රාජ්‍ය ප්‍රජාව පිහිටුවීමේ සිට මේ දක්වා එය ලතින් ඇමරිකානු සහ කැරිබියානු කලාපයේ සාමය, ස්ථාවරත්වය, සංවර්ධනය සහ සමෘද්ධිය ප්‍රවර්ධනය කිරීමට කැපවී සිටින බව හෙතෙම පැවසීය. එය ගෝලීය දකුණේ එකමුතුකම, සහයෝගීතාව හා පොදු සංවර්ධනයට නව ශක්තියක් ලබා දුන් බවද ෂී ජින් පිං මහතා සඳහන් කළේය.

පසුගිය වසරේ මැයි මස චීන- ලතින් ඇමරිකානු සහ කැරිබියානු රාජ්‍ය ප්‍රජා සංසදයේ සිව්වැනි අමාත්‍යවරුන්ගේ රැස්වීම චීනයේ බෙයිජිං හිදී සාර්ථකව පැවැත්විණ. එහි සමාරම්භක උත්සවයට එක්වූ අතර චීනය සහ ලතින් ඇමරිකානු රටවල් එකමුතුකම, සංවර්ධනය, ශිෂ්ටාචාරය, සාමය සහ ජනතාව අතර සම්බන්ධතාවය පිළිබඳ වැඩසටහන් පහක් ඉදිරිපත් කළ බව ෂී ජින් පිං මහතා පැවසීය. ගතවූ වසරක් තුළ දෙපාර්ශ්වය සමීප සහයෝගිතා පවත්වා අදාළ වැඩසටහන් පහ අඛණ්ඩව පුළුල් කිරීමෙන් දෙපාර්ශ්වයේම ජනතාවට සැබෑ වාසි ගෙන දුන් බවද හෙතෙම ප්‍රකාශ කළේය.

චීනය සැමවිටම ලතින් ඇමරිකානු රටවල හොඳ මිතුරෙකු හා හවුල්කරුවෙකි. අදාළ රටවල ස්වාධිපත්‍ය, ආරක්ෂාව සහ සංවර්ධන අවශ්‍යතා ආරක්ෂා කිරීමට සහාය දෙන බව හෙතෙම එහදී අවධාරණය කළේය. එමෙන්ම ජාත්‍යන්තර සාධාරණත්වය සහ යුක්තිය ආරක්ෂා කරමින් චීන-ලතින් ඇමරිකානු පොදු ඉරණමක් සහිත ප්‍රජාව ගොඩනැගීමේ නව පරිච්ඡේදයක් නිර්මාණය කිරීම වෙනුවෙන් ලතින් ඇමරිකානු රටවල් සමග එක්ව කටයුතු කිරීමට චීනය කැමැත්තෙන් සිටින බවද චීන ජනාධිපතිවරයා සිය සුබ පැතුම් පණිවුඩයේ සඳහන් කර ඇත.

About The Author