November 10, 2026

ශංහයි සහයෝගිතා සංවිධානය න්‍යෂ්ටික ආරක්ෂණ හවුල්කාරිත්වය පිළිබඳ ප්‍රකාශනයක් සම්මත කරයි

ශංහයි සහයෝගිතා සංවිධානයේ (SCO) රාජ්‍ය නායක කවුන්සිලයේ 26 වන සමුළුව ඊයේ(01) න්‍යෂ්ටික ආරක්ෂාව සහ සුරක්ෂිතතාව සම්බන්ධයෙන් බහුපාර්ශ්වික හවුල්කාරිත්වය ශක්තිමත් කිරීමේ ප්‍රකාශනයක් සම්මත කර තිබේ.

එම ප්‍රකාශනය මගින් SCO සාමාජික රටවල් අවධාරණය කර ඇත්තේ, එක් එක් රටවල න්‍යෂ්ටික සුරක්ෂිතතාව සම්බන්ධයෙන් පූර්ණ වගකීම අදාළ රාජ්‍යය සතු වන බවය. න්‍යෂ්ටික ද්‍රව්‍ය සහ අනෙකුත් විකිරණශීලී ද්‍රව්‍ය නීතිවිරෝධී ලෙස ජාවාරම් කිරීම, න්‍යෂ්ටික පහසුකම් සහ යටිතල පහසුකම් වෙත එල්ල විය හැකි තර්ජන සහ න්‍යෂ්ටික ත්‍රස්තවාදයේ අවදානම පිළිබඳව ද සාමාජික රටවල් එහිදී දැඩි අවධානයක් යොමු කර තිබේ. 

සාමකාමී අරමුණු සඳහා භාවිත කරන න්‍යෂ්ටික පහසුකම් වෙත එල්ල කරන ඕනෑම ආකාරයේ ප්‍රහාර දැඩි ලෙස හෙළා දකින බව ද එම ප්‍රකාශනයේ සඳහන් විය. එවැනි ක්‍රියා ජාත්‍යන්තර නීතිය මුළුමනින් ම උල්ලංඝනය කිරීමක් වන අතර, ජාත්‍යන්තර සාමයට සහ ආරක්ෂාවට ද තර්ජනයකි. එබැවින් එවැනි ක්‍රියාවලින් වැළකී සිටින ලෙස SCO සාමාජික රටවල් ඉල්ලීමක් කර තිබේ.

එමෙන්ම න්‍යෂ්ටික ද්‍රව්‍ය සහ අනෙකුත් විකිරණශීලී ද්‍රව්‍ය සම්බන්ධයෙන් දේශීය ව ක්‍රියාත්මක පාලන යාන්ත්‍රණ තවදුරටත් ශක්තිමත් කිරීම, ඒ පිළිබඳ ඒකාබද්ධ අධ්‍යාපනික වැඩසටහන්, විද්‍යාත්මක පර්යේෂණ සහ තාක්ෂණික ව්‍යාපෘති වැඩිදියුණු කිරීම සඳහා ද මෙහිදී සාමාජිකයෝ එකඟත්වය පළ කළහ. එමෙන්ම න්‍යෂ්ටික පහසුකම් ආරක්ෂිතව හැසිරවීම සම්බන්ධ දැනුම හුවමාරු කර ගැනීමට ද මෙහිදී අවධානය යොමුව ඇත.

අවශ්‍ය අවස්ථාවලදී තාක්ෂණික දත්ත, පුරෝකථන ආකෘති සහ විශ්ලේෂණාත්මක තොරතුරු තත්‍ය කාලීනව හුවමාරු කර ගැනීමටද සාමාජික රටවල් එකඟ වී ඇති අතර, එහිදී සංවේදී තොරතුරුවල ආරක්ෂාව සහ රහස්‍යභාවය තහවුරු කිරීමටද පියවර ගන්නා බව මෙම ප්‍රකාශනයේ සඳහන් විය.

About The Author