May 31, 2026

මෙවර චීන සංචාරය ඉතා ඵලදායී හා සාර්ථක සංචාරයක් බව රුසියානු ජනපති පවසයි

චීන ජනපති ෂී ජින්පිං මහතා රුසියානු ජනපති ව්ලැඩිමීර් පුටින් මහතා සමග තේ පිළිසඳරක නිරත වෙයි. අද(20) රාත්‍රී චීනයේ බෙයිජිං අගනුවරදී එම තේ පිළිසඳර පැවැත්විණ.

වසර ගණනාවක් තුළ තමන් ව්ලැඩිමීර් පුටින් ජනාධිපතිවරයා සමග නිරන්තර සම්බන්ධතා පවත්වමින් නව යුගයේ චීන-රුසියානු පූර්ණ උපායමාර්ගික සහයෝගිතා හවුල්කාරිත්වය අඛණ්ඩව ඉදිරියට ගෙන ගිය බව චීන ජනාධිපතිවරයා එහිදී කියා සිටියේය. ව්ලැඩිමීර් පුටින් ජනාධිපතිවරයාගේ මෙවර චීන සංචාරය තුළ ‍දෙපාර්ශ්වය ද්විපාර්ශ්වික සබඳතා නව තලයකට ගෙන යාම පිළිබඳ වැදගත් එකඟතාවන්ට එළඹ ඇත. දෙපාර්ශ්වයේ උත්සාහ යටතේ එම සම්බන්ධතා තව තවත් වර්ධනය වනු ඇති බවට චීන ජනාධිපතිවරයා සිය විශ්වාස ද පළ කළේය.

රුසියානු ජනාධිපතිවරයා එහිදී කියා සිටියේ ‍මෙවර චීන සංචාරය ඉතා ඵලදායී හා සාර්ථක සංචාරයක් බවය. ඉදිරියේදී චීනය සමග එක්ව සමීපව කටයුතු කරමින් ලෝක සාමය හා සමෘද්ධිය වෙනුවෙන් නව කාර්යභාරයක් ඉටු කිරීමට රුසියාව බලාපොරොත්තු වන බව ද හෙතෙම පැවසීය.

නායක දෙපල යුක්රේන අර්බුදය පිළිබඳවද අදහස් හුවමාරු කරගත්හ.

About The Author