චීන ජනාධිපති ෂී ජින්පිං මහතා අද (12) පස්වරුවේ ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවති බ්‍රික්ස් රටවල නායකයින්ගේ 18 වැනි සමුළුවේ පළමු අදියරේ රැස්වීමට එක් වෙමින් විශේෂ දේශනයක් පැවැත්වීය.
‘වත්මන් යුගයේ වගකීම් පොදුවේ භාර ගනිමින් ප්රමුඛ බලවේගයක් ලෙස එඩිතරව කටයුතු කරමු’යන්න එම දේශනයේ තේමාව විය.
මෙම වසරේ බ්‍රික්ස් රටවල සහයෝගීතාවයේ 20 වැනි සංවත්සරය සනිටුහන් කෙරෙන බව ෂී ජින්පිං මහතා එහිදී පෙන්වා දුන්නේය. ගෙවී ගිය දශක දෙක තුළ, බ්‍රික්ස් සහයෝගිතා යාන්ත්‍රණය පුළුල් වෙමින් අඛණ්ඩව නව ජීවගුණයක් පෙන්නුම් කර ඇති බවත් හෙතෙම එහිදී අවධාරණය කළේය. එබැවින් මේ වනවිට, ලොව වැඩිම බලපෑමක් සහිත නැඟී එන වෙළඳපොළ මෙන්ම සංවර්ධනය වෙමින් පවතින රටවල සහයෝගිතා වේදිකාව බවට බ්‍රික්ස් යාන්ත්‍රණය පත්ව ඇතැයි ෂී ජින්පිං මහතා සඳහන් කළේය.
බ්‍රික්ස් රටවල් ඉතිහාසයේදී මෙන්ම අනාගතයේදී ද, නිවැරදි දිශානතියට අනුගතව ස්ථිරව සිටිය යුතුය. එමෙන්ම නවෝත්පාදන සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම, සාමය හා ස්ථාවරත්වය පවත්වා ගැනීම, ශිෂ්ටාචාර අතර අන්‍යෝන්‍ය ඉගෙනීම වැඩිදියුණු කිරීම සහ ගෝලීය පාලනය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා පුරෝගාමීන් ලෙස කටයුතු කළ යුතු බව ද හෙතෙම පෙන්වා දුන්නේය.
මේ අතර, ජාත්‍යන්තර පිළිවෙළ වඩාත් සාධාරණ මෙන්ම යුක්තිසහගත දිශාවක් කරා යොමු කරමින්, පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාවක් ගොඩනැගීම සඳහා එක්ව කටයුතු කළ යුතු බවත් ෂී ජින්පිං මහතා එම අවස්ථාවේදී ප්‍රකාශ කර ඇත.
අභියෝග හා දුෂ්කරතාවලින් සපිරි ගෙවී ගිය දශක දෙක තුළ, සහයෝගිතාව සහ එකමුතුකම යන චින්තනය සැමවිටම බ්‍රික්ස් යාන්ත්‍රණයේ සංවර්ධනය සඳහා පදනම සැපයූ බව චීන ජනාධිපතිවරයා සඳහන් කළේය. අවංක ව කටයුතු කිරීම, වෙනස්කම් නොතකා පොදු එකඟතා මත ඉදිරියට ගමන් කිරීම, අන්‍යෝන්‍ය මූලික ප්‍රතිලාභවලට ගරු කිරීම, මනා සන්නිවේදනය සහ සංවාද තුළින් අන්‍යෝන්‍ය අවබෝධය වර්ධනය කර ගැනීම මෙන්ම මතභේද නිසි ලෙස පාලනය කර ගැනීම එහිදී අතිශය වැදගත් වන බව ඔහු අවධාරණය කළේය.
චීනය ලබන වසරේදී බ්‍රික්ස් සභාපතිත්වය භාර ගන්නා අතර, බ්‍රික්ස් රටවල නායකයින්ගේ 19වැනි සමුළුවේ සත්කාරකත්වය ද දරනු ඇත. සමෘද්ධිය සහ ප්‍රගතිය සහිත දීප්තිමත් අනාගතයක් ඒකාබද්ධව නිර්මාණය කිරීම සඳහා චීනය විවිධ පාර්ශ්වයන් සමග එක්ව පොදු අදහස් එක්රැස් කරමින් බ්‍රික්ස් සහයෝගිතාවයේ තෙවන “ස්වර්ණමය දශකය” ඇරඹීමට එක් වනු ඇතැයි ද චීන ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත.
More Stories
APEC නායක සමුළුවේ මාධ්‍ය මධ්‍යස්ථාන වෙබ්අඩවිය නිල වශයෙන් ක්‍රියාත්මක කෙරේ
දැඩි විනයකින් යුත් චීන කොමියුනිස්ට් පක්ෂ පාලනය පිළිබඳ ගෝලීය සංවාද මාලාව ආසියානු රටවල පැවැත්වේ
මධ්‍යගත ප්රජාතන්ත්රවාදය: චීනයට ආවේණික පාලන ක්රමයේ සුවිශේෂී දේශපාලන දැක්ම