May 31, 2026

චීන විදේශ අමාත්‍යවරයා සහ එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා අතර හමුවක්

චීන විදේශ ඇමති වං යී මහතා ඊයේ (26) එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් මහතා හමුවිය. එය සිදු වූයේ වං යී මහතා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ඉහළ පෙළේ රැස්වීමේ මුලසුන දරන අතරතුරය.

චීනය අඛණ්ඩව බහුපාර්ශ්විකත්වය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය හරය ලෙස ගන්නා ජාත්‍යන්තර පද්ධතිය ආරක්ෂා කරනු ඇතැයි වං යී මහතා එම හමුවේදී පෙන්වා දුන්නේය. දකුණු-දකුණු සහයෝගිතාව, ජාත්‍යන්තර ආර්ථික හා මූල්‍ය පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීම, දේශගුණික විපර්යාසවලට මුහුණ දීම, කෘත්‍රිම බුද්ධිය සහ වැදගත් කලාපීය කටයුතු ඇතුළු ක්ෂේත්‍රවල එක්සත් ජාතීන් සමග සහයෝගිතා පුළුල් කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව ඔහු ප්‍රකාශ කළේය. චීනය ප්‍රායෝගික පියවර මගින් එක්සත් ජාතීන්ට සහාය දක්වන බව වං යී මහතා අවධාරණය කළේය.

එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය සහ ජාත්‍යන්තර නීතිය චීනය අඛණ්ඩව අනුගමනය කිරීම සම්බන්ධයෙන් ඇන්ටෝනියෝ ගුටරෙස් මහතා එහිදී චීනයට ස්තූතිය පළ කළේය. තිරසර සංවර්ධනය සඳහා වඩාත්ම විශ්වාසදායක හවුල්කරුවා චීනය බව ඔහු පැවසීය. ආරක්ෂාව, සාමය සහ සංවර්ධනය ඇතුළු ක්ෂේත්‍රවල චීනය ඉදිරිපත් කළ ගෝලීය මුලපිරුම් එක්සත් ජාතීන් අගය කරයි. චීනය සමග අත්වැල් බැඳගෙන විවිධ ගෝලීය ගැටලු විසඳා සාමයේ, ජාත්‍යන්තර නීතියේ සහ බහුපාර්ශ්විකත්වයේ ජයග්‍රහණ ඉටු කිරීමට අපේක්ෂා කරන බව ඔහු සඳහන් කර ඇත.

About The Author