November 10, 2026

ඉතිහාසයෙන් පන්නරය ගෙන අනාගතය ජයගන්නට චීනය ලෝකයට දුන් පණිවිඩය

1934  වසරේ ඔක්තෝබර් මස සිට 1936 වසරේ ඔක්තෝබර් මස දක්වා කාලයේ චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වය යටතේ රතු හමුදාව චීනයේ පළාත් 10කට වැඩි ප්‍රදේශ හරහා මෙහෙයවූ කිලෝමීටර් 12500ක පමණ දිගු පා ගමනින් සතුරු හමුදා සිදු කළ වැටලීම් බිඳ දමමින් අවසාන ජයග්‍රහණය ලබාගෙන තිබිණ. රතු හමුදාවේ 90වන ජයග්‍රාහී සංවත්සරය සැමරීම වෙනුවෙන් ඉකුත් 22වන දින චීන ජනපති ෂී ජින්පිං මහතාගේ ප්‍රධානත්වයෙන් බෙයිජිං අගනුවරදී විශේෂ සමුළුවක් පැවැත්විණ. රතු හමුදා‍වේ දිගු පා ගමන චීන කොමියුනිස්ට් පක්ෂ ඉතිහාසයේ වැදගත් සිද්ධියකි. එදා රතු හමුදාව දිගු පා ගමනෙන් විදහා දැක්වූ පෙර නොවූ විරූ අධිෂ්ඨානශීලිත්වය තුළින්, අවිනිශ්චිතතාව ඇතුළු විවිධ ගෝලීය අභියෝග පවතින වත්මන් යුගයට අගනා ආධ්‍යාත්මික සම්පතක් උරුම කර දුන් බව ජගත් ප්‍රජාවේ පොදු පිළිගැනීමය.

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා එම සැමරුම් සමුළුවේදී දේශනයක් පවත්වමින් කියා සිටියේ ඉතිහාසය මතකයෙහි රඳවා ගැනීමෙන් පමණක් අනාගතය වෙනුවෙන් මග පෑදීමට හැකි වන බවය. රතු හමුදාව මීට වසර 90කට පෙර සිදු කළ දිගු පා ගමන තුළින් වර්තමානයට ආධ්‍යාත්මික ශක්තියක් එක් කළ හැකි බව හෙතෙම පෙන්වා දෙයි. චීනය නව යුගයකට පිවිසෙමින් සිටින අද කාලයේ චීන කොමියුනිස්ට් පක්ෂයට හා චීන ජනතාවට ඉදිරියේ යා යුතු නව දිගු පා ගමනක් ඇත.ඒ සඳහා චීන ජනාධිපතිවරයා සිය දේශනයෙන් අදහස් දැක්වීය.හෙතෙම කී පරිදි , පාලක කොමියුනිස්ට් පක්ෂයට පැවරී ඇති ඓතිහාසික යුතුකම් සහ පක්ෂයේ අභිලාෂයන් අමතක නොකළ යුතුය. ලස්සන ජීවිතයක් අත්විඳීම පිළිබඳ ජනතාවගේ අභිලාෂය සපුරාලීම උදෙසා ඉහළ ගුණාත්මකභාවයෙන් යුත් සංවර්ධනය අඛණ්ඩව ඉදිරියට ගෙන යා යුතුය.චීන මහජන හමුදා සංවර්ධනය තවත් ඉහළ තලයකට ගෙන යමින් ලොව ඉහළම මට්ටමේ හමුදා බිහි කළ යුතුය. චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වය සහ පක්ෂයේ සංවර්ධනය තහවුරු කළ යුතුය.

 එදා චීන රතු හමුදාව සිදු කළ දිගු පා ගමන ඉතිහාසයෙන් මැකී ගොස් නොමැත. නව යුගයේ නව දිගු සංව‍ර්ධන පා ගමනක නිරත වෙමින් සිටින චීනය සිය ජනතාව වෙත පමණක් නොව ලෝකවාසීන්ට ද නව ජයග්‍රහණ සමගින් නව ශක්තිය හා ජවය ගෙන එනු ඇතැයි වි‍ශ්වාස කෙරේ.

About The Author