November 9, 2026

නිදහස් වෙළඳ සහයෝගීතාවය චීන-ස්විට්සර්ලන්ත සබඳතාවල වඩාත්ම කැපී පෙනෙන ලක්ෂණයක් බව චීන ජනපති පවසයි

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා චීනයේ නිල සංචාරයක නිරත වන ස්විට්සර්ලන්ත ‍‍ෆෙඩරල් රජයේ සභාපති Guy Parmelin මහතා හමු විය. ඒ ඊයේ(30) පස්වරුවේ බෙයිජිංහි මහජන මහා ශාලාවේදීය.

ඒකපාර්ශ්විකත්වය සහ ආරක්ෂණවාදය ගෝලීයව උත්සන්න වීම හමුවේ වුවද, නිදහස් වෙළඳ සහයෝගීතාවය තවමත් චීන-ස්විට්සර්ලන්ත සබඳතාවල වඩාත්ම කැපී පෙනෙන ලක්ෂණය බවට පත්ව ඇති බව ෂී ජින්පිං මහතා එහිදී පෙන්වා දුන්නේය. මෙය විවෘත සහයෝගීතාවය ආරක්ෂා කිරීමේදී දෙරට පෙන්වා ඇති දේශපාලන ධෛර්යය සහ වගකීම සම්පූර්ණයෙන්ම පිළිබිඹු කරන අතර විවෘත ලෝක ආර්ථිකයක් ඉදිරියට ගෙන යාමේදී දෙරට ඉටු කරන අද්විතීය හා ප්‍රමුඛ කාර්යභාරය ඉස්මතු කරන බව ද ඔහු කීය.

චීනය සහ ස්විට්සර්ලන්තය අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සහ පොදු ජයග්‍රහණය ඉටු කිරීමෙහි නියැළී සිටිමින් නවෝත්පාදනයේ සහයෝගීතාව ශක්තිමත් කළ යුතු බව ෂී ජින්පිං මහතා පැවසීය. ඒ සඳහා ඩිජිටල් ආර්ථිකය, හරිත බලශක්ති ගබඩාව සහ කෘත්‍රිම බුද්ධිය ඇතුළු නැගී එන අංශවල සහයෝගීතාව වර්ධනය කිරීම කෙරෙහි අවධානය යොමු කළ යුතුය. එසේම මානව වර්ගයාට වැඩි යහපැවැත්මක් ගෙන දීම සඳහා, සහයෝගී නවෝත්පාදනයන් සහ බෙදාගන්නා ප්‍රතිලාභ සහිත උසස් තත්ත්වයේ කාර්මික සහ සැපයුම් දාමයන් ගොඩනැගීමට දෙරටට එක්ව කටයුතු කළ හැකි යැයි චීන ජනාධිපතිවරයා පෙන්වා දී තිබේ.

මෙම වසර චීන-ස්විට්සර්ලන්ත නවෝත්පාදන උපායමාර්ගික හවුල්කාරිත්වය ස්ථාපිත කිරීමේ 10 වන සංවත්සරය සනිටුහන් කරන බව ස්විට්සර්ලන්ත ‍‍ෆෙඩරල් රජයේ සභාපති Guy Parmelin මහතා එම අවස්ථාවේදී ප්‍රකාශ කළේය. කෙටි කාලයක් තුළ උසස් ගුණාත්මකභාවයෙන් යුතුව, චීන-ස්විට්සර්ලන්ත නිදහස් වෙළඳ ගිවිසුම වැඩිදියුණු කිරීම සඳහා වූ සාකච්ඡා සම්පූර්ණ කර ඇත. මෙයින් ඉහළ මට්ටමේ අන්‍යෝන්‍ය විශ්වාසයක් පිළිබිඹු කරන අතර, එය දෙරටේ ව්‍යාපාර සහ විවිධ පාර්ශ්වයන්ගේ අපේක්ෂාවන්ට ද ගැලපේ. චීන-ස්විට්සර්ලන්ත සබඳතා වර්ධනයට ඉන් නව ගම්‍යතාවක් ලබා ගනු ඇතැයි විශ්වාස කරන බව ද ඔහු කියා සිටියේය. ස්විට්සර්ලන්තය එකම චීනය මූලධර්මයට දැඩි ලෙස අනුගත වන අතර ජාත්‍යන්තර කටයුතුවලදී චීනය ඉටු කරන ධනාත්මක භූමිකාවට විශාල වැදගත්කමක් ලබා දෙන බව Guy Parmelin මහතා එම අවස්ථාවේදී අවධාරණය කළේය.

හමුවීමෙන් පසු, රාජ්‍ය නායකයින් දෙදෙනාගේ සහභාගිත්වයෙන් චීන-ස්විට්සර්ලන්ත නිදහස් වෙළඳ ගිවිසුම වැඩිදියුණු කිරීම පිළිබඳ ලේඛනය මෙන්ම විද්‍යාත්මක පර්යේෂණ, රැකියා නියුක්තිය සහ මාධ්‍ය යන ක්ෂේත්‍ර පිළිබඳ සහයෝගීතා ලිපිලේඛන කිහිපයක් අත්සන් කිරීම සිදු විය.

About The Author