චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ගෝලීය පාලන මුලපිරුම ඉදිරිපත් කරයි. ඒ, අද(1) පස්වරුවේ චීනයේ Tianjin නගරයේ Meijiang සම්මන්ත්රණ හා ප්‍රදර්ශන මධ්‍යස්ථානයේ පැවති ‘ෂැංහයි සහයෝගීතා සංවිධානය +’ සමුළුව අමතමිනි.
ගෝලීය පාලන මුලපිරුම ඉදිරිපත් කිරීමට තමා කැමැත්තෙන් සිටින බවත් විවිධ රටවල් සමග එක්ව වඩාත් සාධාරණ හා යුක්ති සහගත ගෝලීය පාලන පද්ධතියක් ගොඩනගමින් පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාවක් කරා ගමන් කිරීමට අපේක්ෂා කරන බවත් ෂී ජින්පිං මහතා එහිදී ප්‍රකාශ කළේය.
පළමුව, ස්වෛරී සමානාත්මතාවය තහවුරු කළ යුතු බව ඔහු අවධාරණය කළේය. විශාලත්වය, ශක්තිය, ධනය යන්න නොසලකා, සියලුම රටවල් ගෝලීය පාලනයේදී සමාන සහභාගීත්වය, තීරණ ගැනීමේ හැකියාව සහ සමාන ප්රතිලාභ භුක්ති විඳිය යුතුය යන මූලධර්මය තහවුරු කළ යුතුය. ජාත්‍යන්තර සබඳතාවල ප්රජාතන්ත්රවාදය ප්‍රවර්ධනය කළ යුතු අතර සංවර්ධනය වෙමින් පවතින රටවල නියෝජනය සහ හඬ වැඩි දියුණු කළ යුතුය.
දෙවනුව, ජාත්‍යන්තර නීතියේ ආධිපත්‍යයට අනුකූල විය යුතුය. මෙහිදී එක්සත් ජාතීන්ගේ ප්රඥප්තියේ අරමුණු සහ මූලධර්ම ඇතුළු ජාත්‍යන්තර සබඳතා පාලනය කිරීම පිළිබඳ විශ්වීය වශයෙන් පිළිගත් මූලික සම්මතයන්ට සම්පූර්ණයෙන්ම අනුගත විය යුතු ය. ජාත්‍යන්තර නීතිය සහ රෙගුලාසීන් සමානව හා ඒකාකාරීව යෙදීම සහතික කළ යුතුය. එසේම ‘ද්විත්ව ප්රමිතීන්’ගෙන් වැළකී සිටිය යුතු අතර සුළුතර රටවල “නිවාස නීති” අනෙක් රටවල් මත පැටවීමෙන් වැළකී සිටිය යුතුය.
තෙවනුව, බහුපාර්ශ්විකත්වය ක්‍රියාත්මක කිරීම ය. පොදුවේ සාකච්ඡා කිරීම, ඒකාබද්ධව සංවර්ධනය කිරීම සහ ප්රතිලාභ පොදුවේ බෙදා ගැනීම පිළිබඳ ගෝලීය පාලන සංකල්පයට අනුගත වෙමින්, සහයෝගීතාවය සහ සමගිය ශක්තිමත් කළ යුතුය. විශේෂයෙන් ඒකපාර්ශ්විකත්වයට විරුද්ධ විය යුතු අතර, එක්සත් ජාතීන්ගේ ස්ථානය සහ අධිකාරිය ස්ථිරව ආරක්ෂා කරමින් ගෝලීය පාලනය තුළ එක්සත් ජාතීන්ගේ වෙන් කළ නොහැකි වැදගත් කාර්යභාරය ඵලදායී ලෙස ඉටු කළ යුතු බව ද ෂී ජින්පිං මහතා ‘ගෝලීය පාලන මුලපිරුම’ පිළිබඳව පැහැදිලි කරමින් සඳහන් කර ඇත.
සිව්වනුව, ජනතාව කේන්ද්‍ර කරගත් ප්‍රවේශයක් වෙනුවෙන් පෙනී සිටීම ය. සියලු රටවල ජනතාව ගෝලීය පාලනයට සහභාගී වීම සහ ගෝලීය පාලනයේ ප්රතිලාභ බෙදා ගැනීම සහතික කිරීමේ අරමුණෙන් යුතුව ගෝලීය පාලන පද්ධතිය ප්‍රතිසංස්කරණය කළ යුතුය. එසේම මානව සමාජය මුහුණ දෙන පොදු අභියෝගවලට මනා ලෙස ප්‍රතිචාර දක්වමින් උතුර-දකුණ සංවර්ධන පරතරය අවම කරමින් ලෝකයේ විවිධ රටවල පොදු අවශ්‍යතා වඩා හොඳින් ඉටු කිරීමට පියවර ගත යුතුය.
පස්වනුව, ක්‍රියාකාරී නැඹුරුව කෙරෙහි අවධානය යොමු කිරීම ය. ක්රමානුකූල සැලසුම්කරණය සහ සමස්ත ප්‍රවර්ධනයට අවධානය යොමු කරමින් ගෝලීය ක්‍රියාමාර්ග සම්බන්ධීකරණය කළ යුතුය. සියලු පාර්ශ්වයන්ගේ සම්පත් නිසි ලෙස භාවිත කරමින් වඩාත් දෘශ්‍යමාන ප්‍රතිඵල බිහි කළ යුතුය. ප්‍රායෝගික සහයෝගීතාවය තුළින් පාලන ප්‍රමාදය සහ පාලනයේ ඛණ්ඩනය වීම වළක්වා ගැනීම ද වැදගත් බව ෂී ජින්පිං මහතා විග්රහ කර ඇත.
More Stories
චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ රැස්වීමක් චීන ජනපති ප්‍රධානත්වයෙන්
චීන වසන්ත උත්සව සමයේ බොක්ස් ඔෆිස් ආදායම යුවාන් බිලියන 5.7 ඉක්මවයි
චීනයේ 15 වැනි පස් අවුරුදු සැලසුම් කාලය සාර්ථකව ආරම්භ කිරීමේ අවශ්‍යතාව ජනපතිවරයා අවධාරණය කරයි