March 2, 2026

ඉරාන න්‍යෂ්ටික ගැටලුව පිළිබඳ සාකච්ඡා කඩිනමින් යළි ආරම්භ කරන ලෙස චීනයෙන් ඉල්ලීමක්

ඉරාන න්‍යෂ්ටික ගැටලුව පිළිබඳ සාකච්ඡා කඩිනමින් යළි ආරම්භ කරන ලෙස චීනය අදාළ සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටී. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ චීන නිත්‍ය උප නියෝජිත Sun Lei මහතා ඊයේ(23) ඉරාන න්‍යෂ්ටික ගැටලුව සම්බන්ධයෙන් ආරක්ෂක මණ්ඩලයේ විවෘත රැස්වීමකදී අදහස් දක්වමින් මේ බව සඳහන් කළේය.

ඉරාන න්‍යෂ්ටික ගැටලුව පිළිබඳ පුළුල් සැලැස්ම යනු එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ 2231 යෝජනාව මගින් අනුමත කරන ලද වැදගත් බහුපාර්ශ්වික රාජ්‍යතාන්ත්‍රික ජයග්‍රහණයකි. කෙසේ වෙතත්, 2018 දී ඇමරිකාව ඒකපාර්ශ්විකව එම ගිවිසුමෙන් ඉවත් වී ඉරානයට ඒකපාර්ශ්වික සම්බාධක පැනවීය. ඇමරිකාව ගිවිසුමෙන් ඉවත් වීමෙන් පසුව, බ්‍රිතාන්‍යය, ප්‍රංශය සහ ජර්මනිය ඇමරිකාව සමග එක්ව ඉරානයට ඒකපාර්ශ්වික සම්බාධක පැනවීමට කටයුතු කර ඇත. මෙය ගැටුම් නැවත නැවතත් උත්සන්න කිරීමට හේතු වී ඇති බව චීන නියෝජිතයා පැවසීය.

බලහත්කාරයෙන් හා අර්බුදවලින් මෙම ගැටලුව විසඳිය නොහැකි බවත්, ඇතැම් රටවල් සිය භූ දේශපාලනික න්‍යාය පත්‍ර ඉදිරියට ගෙන යාම සඳහා ඉරාන න්‍යෂ්ටික සාකච්ඡා භාවිත කිරීම අත්හැරිය යුතු බවත්, Sun Lei මහතා එහිදී අවධාරණය කළේ ය.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ස්ථිර සාමාජිකයෙකු සහ ඉරාන න්‍යෂ්ටික ගිවිසුමට සම්බන්ධ පාර්ශ්වයක් ලෙස, චීනය ඉරාන න්‍යෂ්ටික ගැටලුව සම්බන්ධයෙන් නිරන්තරයෙන් ඵලදායී කාර්යභාරයක් ඉටු කර ඇති බව චීන නියෝජිතයා පැවසීය. සියලු පාර්ශ්වයන් සමග, සාකච්ඡා ඉක්මනින් නැවත ආරම්භ කිරීමෙන් ඉරාන න්‍යෂ්ටික ගැටලුවට දේශපාලන විසඳුමක් ලබා දීමට මෙන්ම, ජාත්‍යන්තර න්‍යෂ්ටික අවි ව්‍යාප්තිය වැළැක්වීමේ පද්ධතිය ආරක්ෂා කිරීමට කටයුතු කළ යුතුය. එමගින් මැදපෙරදිග සාමය හා ස්ථාවරත්වය ප්‍රවර්ධනය කිරීමට හැකි වන අතර ඒ සඳහා චීනය අඛණ්ඩව කටයුතු කරනු ඇතැයි, Sun Lei මහතා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

About The Author