March 2, 2026

වෙනිසියුලාවට එරෙහි ඒකපාර්ශ්වික හිරිහැර කිරීම නතර කරන ලෙස චීනය ඇමරිකාවෙන් ඉල්ලයි

වෙනිසියුලාවේ ඉල්ලීමකට අනුව, චීනය,රුසියාව සහ අනෙකුත් රටවල සහාය ඇතිව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ හදිසි රැස්වීමක් ඊයේ(23) කැඳවිණ.

ඇමරිකාව වෙනිසියුලාවට එරෙහිව සම්බාධක, අවහිර කිරීම් සහ බලහත්කාරයෙන් තර්ජන එල්ල කිරීම වෙනිසියුලාවේ ස්වෛරීභාවය, ආරක්ෂාව හා නීත්‍යනුකූල අයිතිවාසිකම් බරපතල ලෙස උල්ලංඝනය කරන බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ චීන නියෝජ්‍ය නිත්‍ය නියෝජිත Sun Lei මහතා එහිදී ප්‍රකාශ කළේය. එය එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය සහ ජාත්‍යන්තර නීතිය දැඩි ලෙස උල්ලංඝනය කරන අතර, ලතින් ඇමරිකාවේ සහ කැරිබියන් කලාපයේ සාමයට සහ ආරක්ෂාවට ද තර්ජනයක් වන බව ඔහු පෙන්වා දී ඇත.

ඕනෑම ඒකපාර්ශ්වික හිරිහැර කිරීමකට මෙන්ම, එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ මූලධර්ම උල්ලංඝනය කරන හෝ අනෙකුත් රටවල ස්වෛරීභාවය සහ ආරක්ෂාව උල්ලංඝනය කරන ඕනෑම ක්‍රියාවකට චීනය විරුද්ධ බව Sun Lei මහතා අවධාරණය කළේ ය. එබැවින් අදාළ ක්‍රියාමාර්ග වහාම නතර කර, නීති විරෝධී ඒකපාර්ශ්වික සම්බාධක ඉවත් කරන ලෙසත්, ලතින් ඇමරිකාවේ සහ කැරිබියන් කලාපයේ සාමය,ස්ථාවරත්වය මෙන්ම සංවර්ධනය ප්‍රවර්ධනය සඳහා සහය වීමට කටයුතු කරන ලෙසත් චීනය ඇමරිකාවෙන් ඉල්ලා සිට ඇති බව ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත.

About The Author