November 9, 2026

චීනය සහ ජර්මනියට ගෝලීය ආර්ථිකයේ ස්ථාවර වර්ධනය සඳහා සුවිශේෂ වගකීමක් පවතී –චීන ජනපති

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා චීනයේ රාජ්‍ය සංචාරයක නිරත වන ජර්මන් ජනාධිපති Frank-Walter Steinmeier මහතා සමග සාකච්ඡාවක් පවත්වයි. ඒ ඊයේ(30) පස්වරුවේ බෙයිජිංහි මහජන මහා ශාලාවේදීය.

ලෝකයේ දෙවන සහ තුන්වන විශාලතම ආර්ථිකයන් ලෙස, චීනය සහ ජර්මනිය චීන-යුරෝපීය සබඳතා වර්ධනය සහ ගෝලීය ආර්ථිකයේ ස්ථාවර වර්ධනය සඳහා වැදගත් වගකීමක් දරා සිටින බව ෂී ජින්පිං මහතා එහිදී පෙන්වා දුන්නේය.

දෙරටේ විස්තීර්ණ උපායමාර්ගික හවුල්කාරිත්වයේ නව පරිච්ඡේදයක් විවෘත කරමින් වඩාත් සාධාරණ හා හේතුසහගත ගෝලීය පාලන පද්ධතියක් ගොඩනැගීම ප්‍රවර්ධනය කිරීම සඳහා චීනය ජර්මනිය සමග එක්ව කටයුතු කිරීමට සූදානම් බව ද ඔහු පැවසීය.

යුරෝපීය හා ජාත්‍යන්තර කටයුතුවලදී ජර්මනියට වැඩි කාර්යභාරයක් ඉටු කරනු ඇතැයි චීනය අපේක්ෂා කරයි.  එමෙන්ම ජර්මනිය චීනයේ සංවර්ධනය සහ චීනය සමග සහයෝගීතාවය විවෘත හා ධනාත්මක මානසිකත්වයකින් සලකනු ඇතැයි චීනයේ බලාපොරොත්තුවය. චීනය කෙරෙහි තාර්කික, ප්‍රායෝගික සහ මිත්‍රශීලී ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරමින් අන්‍යෝන්‍ය ගෞරවය සහ සමාන සැලකීමේ මූලධර්ම තහවුරු කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙය චීන-ජර්මන් සබඳතාවල තිරසර හා විධිමත් සංවර්ධනය පවත්වා ගෙන යාමේදී වටිනා අත්දැකීමක් යැයි ද ඔහු කියා සිටියේය.

චීන-යුරෝපීය සබඳතා බොහෝ අභියෝගවලට මුහුණ දී ඇති බව ෂී ජින්පිං ජනාධිපතිවරයා සඳහන් කළේය. දෙපාර්ශ්වය හවුල්කාරිත්වයට කැපවී සිටින අතර, සමාන සංවාද පැවැත්වීමෙහි නියැළී සිටියහොත්, මතභේද සහ ගැටලු සැමවිටම විසඳා ගත හැකිය. ඒවා, චීන-යුරෝපීය සබඳතාවල ප්‍රගතියට බාධාවක් නොවනු ඇති බව ද ඔහු පැවසීය.

අනතුරුව චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි මධ්‍යම කාරක සභාවේ පස්වන පූර්ණ සැසියේ තත්ත්වය පිළිබඳව ෂී ජින්පිං මහතා ජර්මන් ජනාධිපතිවරයා වෙත දැනුවත් කර ඇත.

ෂී ජින්පිං ජනාධිපතිවරයාගේ නායකත්වය යටතේ චීනය අත්කරගෙන ඇති දැවැන්ත සංවර්ධන ජයග්‍රහණ ජර්මනිය ඉහළින් අගය කරන බව ජර්මන් ජනාධිපති Frank-Walter Steinmeier මහතා එහිදී අවධාරණය කළේය. ජර්මනිය ‘එකම චීනය’ මූලධර්මයට දැඩිව අනුගත වන අතර, දෙරට අතර සබඳතාවයේ අනාගතය පිළිබඳව පූර්ණ විශ්වාසයෙන් පසුවෙයි. ලෝක සාමය සහ සංවර්ධනය සුරැකීමේ වගකීම පොදුවේ භාර ගෙන, නිදහස් වෙළඳාම සහ ලෝක වෙළඳ සංවිධානයේ නීති රීතිවලට සහාය දක්වන අතර, ආරක්ෂණවාදය සහ වෙළඳ යුද්ධයන්ට විරුද්ධ වීමට චීනය සමග එක්ව පියවර ගැනීමට තම රට සූදානමින් සිටින බව ද ජර්මන් ජනාධිපතිවරයා සඳහන් කර ඇත.

About The Author