March 4, 2026

චීන විදේශ අමාත්‍යවරයා හා ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා අතර දුරකථන සංවාදයක්

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ සාමාජික, විදේශ අමාත්‍ය වං යී මහතා, ඊශ්‍රායල විදේශ අමාත්‍ය Gideon Sa’ar මහතාගේ ඉල්ලීම පරිදි ඔහු සමග දුරකථන සංවාදයක නිරත විය.

චීනය සැමවිටම සංවාදය සහ සාකච්ඡා මාර්ගවලින් ජාත්‍යන්තර සහ කලාපීය උණුසුම් ගැටලු විසඳීමට ඉදිරිපත් වන බවත් සියලු පාර්ශ්වයන් එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ අරමුණු සහ මූලධර්මවලට අනුකූල විය යුතු බවත් වං යී මහතා එහිදී ප්‍රකාශ කළේය. ජාත්‍යන්තර සබඳතාවලදී බලය භාවිත කිරීමෙන් හෝ භාවිත කිරීමට තර්ජනය කිරීමෙන් වැළකී සිටිය යුතු අතර, එය ඊශ්‍රායලය ඇතුළු සියලු පාර්ශ්වයන්ගේ මූලික අවශ්‍යතාවන්ට ද ගැල‍පෙන බව ඔහු පෙන්වා දුන්නේය.

ඉරානය සහ ඇමරිකාව අතර මෑත කාලීන සාකච්ඡා, ඊශ්‍රායලයේ ආරක්ෂක සැලකිල්ල ද ආවරණය වන පරිදි, කැපී පෙනෙන ප්‍රගතියක් ලබා ඇතත්, කණගාටුදායක ලෙස  මෙම ක්‍රියාවලියට සන්නද්ධ ගැටුමකින් බාධා එල්ල වී තිබේ. බලහත්කාරයෙන් ගැටලුව සැබවින්ම විසඳිය නොහැක. ඒ වෙනුවට, එය නව ගැටලු සහ බරපතල දිගුකාලීන ප්‍රතිවිපාක ගෙන එනු ඇත. ගැටුම තවදුරටත් උත්සන්න වීම සහ පාලනයෙන් පිටතට යාම වැළැක්වීම සඳහා හමුදා මෙහෙයුම් වහාම නතර කරන ලෙස චීනය ඉල්ලා සිටී. 

මැදපෙරදිග ගැටලුව සම්බන්ධයෙන් චීනය සැමවිටම සාධාරණ ස්ථාවරයක සිටින අතර, ගැටුම් අවම කිරීම ප්‍රවර්ධනය කිරීමේදී අඛණ්ඩව ඵලදායී කාර්යභාරයක් ඉටු කරයි. චීන ජාතික පුරවැසියන් සහ ආයතනවල ආරක්ෂාව සහතික කිරීම සඳහා ප්‍රායෝගික පියවර ගන්නා ලෙස වං යී මහතා ඊශ්‍රායල පාර්ශ්වයෙන් ඉල්ලා සිටියේය. 

ඊශ්‍රායලය චීන ජාතික පුරවැසියන් සහ ආයතනවල සුරක්ෂිතතාවට විශාල වැදගත්කමක් ලබා දෙන අතර ඔවුන්ගේ ආරක්ෂාව සහතික කිරීමට කටයුතු කරන බවද ඊශ්‍රායල විදේශ ඇමතිවරයා මෙහිදී පැවසීය.

About The Author